සෞරග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රයේ ඇති තරුව හිරු හෙවත් සූර්යයායි. පෘථිවිය ඇතුලු අනෙකුත් වස්තුන් සූර්යයා වටා ගමන් කරන අතර සෞරග්‍රහ මණ්ඩලයේ ස්කන්ධයෙන් 99.8% කට පමණ වගකියන්නේ සූර්යයායි. සූර්ය ශක්තිය , හිරු එළිය සහ තාපය ලෙස පෘථිවිය මත වෙසෙන සියලුම ජීවින්ට අත්‍යාවශ්‍ය වේ. සූර්යාලෝකය ප්‍රධාන වශයෙන් අවශ්‍ය වන්නේ ප්රභාසංස්ලේෂණ ක්‍රියාවලියටය. එසේම සූර්යයා මගින් පෘථිවියේ දේශගුණය හා කාලගුණය පාලනය කරයි. සූර්යයා පෘථිවිය මෙන් 109 ගුණයක් විශාල වේ.
සුර්යයාට ඇත්තේ G2V ලෙස හැඳින්වෙන වර්ණාවලි පන්තියකි. G2 යනුවෙන් අර්ථ දැක්වෙන්නේ 5,780 K මතුපිට උෂ්ණත්වයක් එය සතුව ඇති බවත් එනිසා එයට සුදු පැහැයක් ලැබී ඇති බවත් ය. වායුගෝලීය විසිරීම හේතුවෙන් පෘථිවි පෘෂ්ඨයේ සිට බලන කල සූර්යයා දිස්වන්නේ කහ පැහැයෙනි.
ක්ෂිරපථය මධ්‍යයේ සිට සූර්යයාට ඇති දුර ආලෝක වර්ෂ 26,000 ක් පමණ වන අතර සූර්යයා එය වටා කක්ෂගත වේ. එහි උපරිම කක්ෂ වේගය තත්පරයට කි.මී. 220 ක් පමණ වේ. එනම් සෑම වසර 1400 කටම එක් ආලෝක වර්ෂයක් ද සෑම දින 8 කට ම තාරකා විද්‍යා ඒකකයක් ද (සූර්යයා සහ පෘථිවිය අතර ඇති දුර තාරකා විද්‍යා ඒකකයක් වේ) ගමන් කරයි. දැනට සොයා ගෙන ඇති කරුණු අනුව මෙම දුර ප්‍රමාණයන් නිවැරදි වන නමුත් නව දැනුම සමඟ මෙම අගයන් වෙනස් වීමට ඉඩ ප්‍රස්තාව ඇත.
පෘථිවියේ සිට ආලෝක වර්ෂ 17 ක් ඇතුලත පිහිටි ආසන්නම තාරකා පද්ධති 50 අතරින් දීප්තිමත් බවින් 4 වැනියට වැඩිම තාරකාව ද සූර්යයා වේ. සූර්යයා සමන්විත වන්නේ ප්ලාස්මාවකින් වන අතර එය ඝන වස්තුවක් නොවන බැවින්, එහි ධ්‍රැවයන්හිදීට වඩා වේගයෙන් එය එහි නිරක්ෂයේදී භ්‍රමණය වෙයි. මෙම ආචරණය හැඳින්වෙන්නේ ආන්තර භ්‍රමණය ලෙසින් වන අතර, එය එසේ වන්නේ සූර්යයා තුල ඇති වන සංවහනය නිසා සහ එහි ගර්භයෙහි සිට ඉවතට පවතින තියුණු උෂ්ණත්ව අනුක්රමණයන් නිසාවෙන් ඇති වන ස්කන්ධ ගමනය හේතුවෙනි.
ක්‍රාන්තිවලමය උත්තර ධ්‍රැවයෙහි සිට බලන කල්හී සූර්යයාගේ වාමාවර්ත කෝණික ගම්‍යතාවයෙහි කොටසක බැර මෙම ස්කන්ධය විසින් දැරෙන අතර, එනයින් කෝණික ප්‍රවේගයෙහි විබෙදුම යළි සිදුකෙරෙයි. මෙම සත්‍ය භ්‍රමණයෙහි කාලාවර්තය දළ වශයෙන් නිරක්ෂයෙහිදී දින 25.6 ක් හා ධ්‍රැවයන්හී දින 33.5 පමණ වෙයි.
කෙසේවෙතත්, සූර්යයා වටා පරිභ්‍රමණය නිසාවෙන් අප විසින් පෘථිවියෙහි සිට සූර්යයා නැරඹුම් ලක්ෂ්‍යය නිරන්තරයෙන් වෙනස් වන බැවින්, එහි නිරක්ෂයෙහිදී තාරකාවෙහි දෘශ්‍ය භ්‍රමණය දින 28 ක් පමණ වෙයි. මෙම ලැසි භ්‍රමණයෙහි කේන්ද්‍රාභිසාරී ආචරණය සූර්යයාගේ නිරක්ෂයෙහිදී පෘෂ්ඨික ගුරුත්වයට වඩා 18 මිලියන ගුණයක් දුර්වල වෙයි. ග්‍රහ ලෝකයන්හී උදම් ආචරණය මෙයටත් වඩා දුර්වල වන අතර, සූර්යයාගේ හැඩය සැලකිය යුතු තරම් වෙනස් නොකරයි.
සූර්යය අභ්‍යන්තරය සෘජු ලෙසින් නිරික්ෂණය කළ නොහැකි අතර සූර්යයා විද්‍යුත්චුම්භක විකිරණයන්ට පාරාන්ධ බවක් දක්වයි. කෙසේවෙතත්, භූමිකම්පා විසින් ජනනය කරනු ලබන තරංග විසින් පෘථිවියෙහි අභ්‍යන්තර ව්‍යුහය අණාවරණය කිරීමට භූකම්පන විද්‍යාව ඉවහල් වනවා මෙන්ම, සූර්ය භූකම්පන විද්‍යාව නම් ශික්ෂාව විසින් සූර්ය අභ්‍යන්තරයෙහි ගමන් ගන්නා පීඩන තරංග (අවධ්වනිය) උපයෝගී කොට ගෙන තාරකාවේ අභ්‍යන්තර ව්‍යුහය මැනීම හා දෘශ්‍යකරණය සිදු කෙරෙයි. සූර්යයාගේ පරිගණක නිරූපකරණය ද එහි ගැඹුරු ස්ථර විමර්ශනය කිරීම සඳහා සෛද්ධාන්තික මෙවලමක් ලෙසින් භාවිතා වෙයි.
පෘථිවි පෘෂ්ඨයේ සිට බලන කළ කැමරා කාචය තුලින් සුර්යයා දිස්වන අන්දම සූර්යාලෝකය ඉතාමත් දීප්තිමත් වන අතර පියවි ඇසින් සුර්යයා දෙස කෙටි වේලාවක් කෙලින්ම බලා සිටීම වේදනාකාරී විය හැකිය. නමුත් එය සාමාන්‍ය, කණිනිකාව විශාල නොවූ ඇස්වලට එතරම් ගැටලුවක් ඇති නොකරයි. කෙලින්ම සූර්යයා දෙස බැලීමෙන් Phosphene දෘෂ්ටි මායාවන් සහ තාවකාලිකව අර්ධ වශයෙන් අන්ධවීම සිදුවිය හැකිය. එමඟින් මිලිවොට් 4 ක පමණ සූර්යාලෝකයක් දෘෂ්ටි විතානය මතට පතිත වන අතර එමඟින් දෘෂ්ටි විතානය මද වශයෙන් උණුසුම් වී ආලෝකයට අනුව නිසි පරිදි ප්‍රතිචාර දැක්විය නොහැකියාවක් ඇති අක්ෂිවලට හානි ඇති කරයි. UV කිරණ වලට නිරාවරණය වීම මඟින් කාලයක් යන විට ඇසේ කාචය කහ පැහැයක ගන්නා අතර, ඇසේ සුද (Cataracts) ඇති වීමට මෙය දායකවන බව විශ්වාස කරයි.
නමුත් මෙසේ සිදුවන්නේ සූර්ය UV කිරණවලට සාමාන්‍ය ලෙසට නිරාවරණය වීම නිසා මිසක සූර්යයා දෙස කෙලින්ම බලා සිටීම නිසා නොවේ. සූර්යයා දෙස බොහෝ වේලාවක් කෙලින් බලා සිටීම නිසා UV කිරණ මඟින් ඇති කරන පිළිස්සීම් වැනි දෑ තප්පර 100 ක පමණ පසු දෘෂ්ටි විතානය මත ඇති විය හැකිය. විශේෂයෙන් ම සූර්යයාගෙන් පැමිණෙන UV කිරණ තීව්ර හා හොඳින් නාභිගත වී ඇති අවස්ථාවල මෙම තත්ත්වය ඇති වේ. කුඩා දරුවන්ගේ ඇස් හෝ අලුතින් කාච තැන්පත් කරන ලද ඇස් අසල සූර්ය කෝණ, සහ උස් අක්ෂාංශ වල සිට නිරීක්ෂණ කිරිම වැනි හේතු නිසා තත්වය වඩා බරපතල විය හැකිය.
තොරතුරු - විකිපීඩියා වෙතින්
No comments:
Post a Comment