Nuwana Astrology Service
ජීවිතය විශ්වාසයෙන් ජයගන්න

රවි ග්‍රහයා

රවි ග්‍රහයා


ග්‍රහ මණ්ඩලයේ මුලිකයා මෙන්ම ජෝතිෂ්‍ය විද්‍යාවට අනුව ප්‍රධාන ග්‍රහයාද වෙයි. අප ජිවත් වන ලෝකයට ප්‍රාණයත්, උෂ්ණත්වයත්, එළියත් ලබා දෙයි. රවි ග්‍රහයා පෙන්වා දී තිබෙන්නේ රතු ඇස් ඇති තමාගේ සිරුරෙන් බඹයක් උස වූ සුදු පාට වූ රන් ඔටුන්නක් පැළඳි අශ්වයෙකු පිට නැග ගත් රජෙකු මෙනි. රවි ගේ බල දිශාව දකුණ වේ.

පුරුෂ ග්‍රහයෙකි. පාපී ග්‍රහයෙකි. ආශ්වාසය, ප්‍රශ්වාසය, රෝග බෝ නොවීමේ ශක්තිය, ප්‍රසිද්ධිය, නම්බුව ලැබෙන්නේ රවිගෙනි. පුද්ගලිකත්වය, ආත්ම විශ්වාසය, උද්යෝගවත් බව, බලය, අයිතිවාසිකම, ලැබෙන්නේද මෙම ග්‍රහයගෙනි. අවබෝධය, ඥානය, භක්තිය, චිත්ත වේගය, අනුන්ගෙන් බලාපොරොත්තු නොවී තමාට තමාමය යන අදහස ද ලබා දෙන්නේ රවි ග්‍රහයාය.

දහවල් කාලයේ උපන් අයට පියා වෙයි. රෑ උපන්නත් පිය කාරකයා රවිම වෙයි. පියා ගැන සාමාන්‍ය වශයෙන් තොරතුරු බැලිය යුත්තේ රවිගෙනි. තනතුරු දෙන්නෙත් තනතුරු වලින් පහකොට බන්ධනාගාරවල දමන්නේත් රවිමය. රවි බලවත් නම් ආත්ම ගෞරවය ඇති කෙනෙක් වෙයි, අන් අය පාලනය කිරීමේ ශක්තිය ඇත. රවි දුබල නම් බොරු අහංකාරකම, තරහ වැඩි ගතිය, යන එන තැන අන් අයට වඩා පහත් ලෙස පෙනීම, වාචාලකම, අන්‍යයන් කෝප කිරීම, ප්‍රසිද්ධියක් ලබා ගන්නට ගොස් තත්වයෙන් පහත වැටීම, චපල ගතිය, හොර හිත, ආත්ම විශ්වාසයක් නැති කම ආදිය ඇති වෙයි.

හැප්පෙනවා නම් බලවතෙකු සමග මිස දුබලයෙකු සමග නොහැප්පෙයි. බොරුවට හිස පහත් නොකරයි. සමාජයේ ප්‍රධාන ස්ථානයක් ලැබේ. හදවතට, කටට, ඇස්වලට, රක්ත නාඩි වලට, ලේ වලට, මොළයට, උගුරට, ඇලදිවට අධිපති වෙයි.

රෝග වශයෙන් බෙල්ල මහත් වීම, මොළයේ අමාරු, රක්තවාතය, ලේ දුෂ්‍ය වීම, සිහි අඩු කම, තද උණ රෝග, ඇස්වල හා මුහුණේ රෝග සැදෙයි. 

රවි පෘථිවිය මෙන් තුන්ලක්ෂ තිස් වාරයකට වඩා ලොකුය. තත්පරයකට සතරැස් අඟලින් පිටවන රශ්මිය අශ්වබල 20 කට සමාන වෙයි. තත්පරයකට රවිගෙන් සියුම් ද්‍රව්‍ය ටොන් හතලිස් ලක්ෂයක් පිට කරයි. මෙයින් කොටසක් පොලොවටද ලැබේ. ඉරු රැස් පොළොවට වැටීමට මිනිත්තු 8 ක් ගත වෙයි. හිරු සම්පුර්ණයෙන් ක්සිතිජයෙන් මතු වීමට මිනිත්තු 2 ක් ගත වෙන්නක් මෙන් බැස යාමටද මිනිත්තු 2 ක් ගත වේ.

No comments:

Post a Comment